පිළිකුත්තුව රජ මහා විහාරය

පිළිකුත්තුව රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන පිළිකුත්තුව රජ මහා විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුල ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි.
අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 200ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 48ක පමණ ප්‍රමාණයක් විහාර සංකීර්ණයටත්, ඉතිරි ප්‍රමාණය වන රක්ෂිතයටත් අයත්ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛාවක් සහිත විහාරස්ථානයක් ලෙස හා ගම්පහ දිසාවෙහි වැඩිම කටාරම් කොටන ලද ලෙන් සහිත ස්ථානය ලෙසද, මෙම භූමිය හැඳින්වෙයි.

ගමන් මාර්ග

  • කොළඹ නුවර මහා මාර්ගයෙහි මිරිස්වත්ත හන්දියෙන්, වතුරුගම මාර්ගයේ කිලෝ මීටර 4ක් පමණ දුරින් වූ, පිළිකුත්තුවෙන් වමට හැරී කිලෝ මීටර 1ක් පමණ ගමන් කල විට පිළිකුත්තුව රජ මහා විහාරය වෙත ලඟාවිය හැක.
  • ගම්පහ - කිරිඳිවැල බස් මාර්ගයේ යක්කල හන්දියේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විටද, මෙම විහාරයට ලඟාවිය හැක.
විහාරස්ථානයට උතුරින් යොන්ගම්මුල්ල ග්‍රාමය හා වාරණ විහාරය සහිත කඳු වැටියත්, දකුණින් හේනෙගමත් පිහිටා ඇත.

ඉතිහාසය

පිළිකුත්තුව රජමහා විහාරය සහිත භූමියෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස පමණ තෙක් අතීතයට දිවෙන බව පැවසෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ දී මේ වන අරණ බෞද්ධ භික්ෂූන්ට භාවනානුයෝගීව සිටීමට සුදුසු වන පරිදි වැඩි දියුණු කොට තිබූ බව පැරණි පුරාවිද්‍යා ලේඛනවල සඳහන් වේ.
තවද මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් ලෙස පැවැති බවත්, එසේම වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් බවත් පැවසෙයි. අනුරාධපුර යුගයේදී භික්ෂූන් වහන්සේලා මෙහි පැවැති ලෙන් කුටි තුල, භාවනායෝගිව වැඩ සිටි බවටද සාධක පවතියි.
විහාරස්ථානයෙහි කටාරම් කෙටූ ගල් ලෙන් 99 ක් පමණ තිබෙන අතර මින් සමහර ලෙන් තුල, ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප‍්‍රකාශ කරති.

විහාරය

පිළිකුත්තුව රජ මහා විහාරයේ ප‍්‍රධානතම ගොඩනැගිල්ල ලෙස ලෙන් විහාරය හඳුනා ගැනේ. මෙහි සැතපෙන පිළිමයක්, හිටි පිළිමයක් සහ සමාධි පිළිමයක්ද, නුවර යුගයට අයත් සිතුවම් රැසක්ද පවතියි.
ක්‍රිස්තු පූර්ව 3වන හා ක්‍රිස්තු වර්ෂ 1 සියවසට පමණ අයත් සෙල් ලිපිය තුනක් පිළිකුත්තුව විහාරයෙන් හමුවී ඇති අතර, මින් එක් සෙල් ලිපියකින් කියැවෙන්නේ සතර දිගින් වඩින සංඝයාට මේ ලෙන් පූජා කර ඇති බවය.
විහාරයේ වූ නා පෙණ හැඩැති ගල් ලෙන යට ඉදි කොට තිබෙන ස්තූපය, නුවර යුගයට අයත් වෙයි. ඊට ඉදිරිපසින් බෝධීන් වහන්සේලා දෙනමක් රෝපිත අතර, ඉන් එකක් ‘කුමර බෝධිය’ ලෙසත්, අනෙක ‘කුමරි බෝධිය’ ලෙසත් හැඳින්වේ

විහාරයේ ඉපැරණි කෞතුක වස්තූන්

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් පරිහරණය කළ දෝලාවක් මෙම විහාරයේදී දැකගත හැකිවේ. සුමංගල හිමි විසින් වරක් ධර්ම දේශනයක් සඳහා මෙහි දෝලාවෙන් වැඩම කර ඇති අතර, ආපසු යාමේදී තිරික්කලයකින් වැඩි නිසා දෝලාව මේ විහාරයේ තබා ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ පැරැණි යුගයට අයත් දෙවන දැවමුවා පාලමද, පිළිකුත්තුව රජමහා විහාරයේදී දැක ගත හැකිය.

පුරාවිද්‍යා රක්ෂිතය

පිළිකුත්තුව රජ මහා විහාරය සතුව තිබෙන පෞරාණික වටිනාකම නිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කොට තිබෙයි.

වෘක්ෂ අභය භූමිය

පිළිකුත්තුව රජමහා විහාරයට අයත් වන වණ අරණ, ජෛව විවිධත්වය අතින් අනූන වීම සහ එහි වූ පාරිසරික හා ඓතිහාසික වැදගත්කම නිසා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසර කළමනාකරණ ව්‍යාපෘතිය අනුග්‍රයෙන්, 2003 නොවැම්බර් 3 වන දිනදී මෙම වනය වෘක්ෂ අභය භූමියක් ලෙස නම් කරන ලදී.
විහාරය අවට වූ නේකතුරුලතාවන් අතරින්, වැඩී තිබෙන යෝධ පුස්වැල් මෙහි පැමිණෙන සියළු දෙනාගේම විශේෂ අවධානයකට ලක්වෙයි.
මෙහි ඇති සියලු තොරතුරු 100% සත්‍ය බවත් නිවැරදි බවත් කරුණාවෙන් සලකන්න 

පෙනේද TV ෆේස්බුක් පිටුව 



No comments:

Post a Comment

භාෂා පරිවර්තකය

අදහස්

foxyform

අපගේ සේවාවන්

speed

our site

side show

ගැජට් කෑලි

විව්ධ රටවල්වල භාවිත වන භාෂාවන්